හෙට, එනම් මාර්තු 03 වන අඟහරුවාදා දින අතිදුර්ලභ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවීමට නියමිත අතර, එහිදී චන්ද්‍රයා රතු පැහැයෙන් දිස්වන ‘ලේ පැහැති සඳක්’ (Blood Moon) දැකබලා ගැනීමට ලොව පුරා බිලියන 3.3ක ජනතාවකට අවස්ථාව හිමිවේ. හිරු, පෘථිවිය සහ සඳ සෘජු රේඛාවක පිහිටන මෙම අවස්ථාවේදී පෘථිවියේ සෙවනැල්ල සඳ මත පතිත වීම මෙයට හේතුවයි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල වෙසෙන අභ්‍යවකාශ ලෝලීන්ට හෙට සිරු බැසයන අවස්ථාවේදී (Sunset) මෙම සංසිද්ධිය දැකබලා ගත හැකිය. වාර්තාවලට අනුව, සඳ පෘථිවි සෙවනැල්ලෙන් ඉවතට ගමන් කරන අවසාන මිනිත්තු 20ක පමණ කාලය මෙම කලාපයට දිස්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලට මෙය වඩාත් පැහැදිලිව දිස්වන අතර, නවසීලන්තයේ වේලාවෙන් රාත්‍රී 10:50ට පමණ ග්‍රහණය ආරම්භ වේ. චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම පෘථිවි සෙවනැල්ලෙන් වැසී පවතින ‘පූර්ණ ග්‍රහණ’ අවස්ථාව පැයක පමණ කාලයක් පවතින අතර, එම කාලය තුළ සඳ තද රතු පැහැයෙන් දිස්වනු ඇත.
බොහෝ සංස්කෘතීන් තුළ මෙම රතු පැහැති සඳ අසුබ පෙරනිමිත්තක් ලෙස සැලකුවද, තාරකා විද්‍යාඥයන්ට අනුව මෙය පෘථිවි වායුගෝලය හරහා හිරු එළිය වර්තනය වීම නිසා සිදුවන සුන්දර ස්වභාවික සංසිද්ධියකි.















