2025 ඔක්තෝබර් 30 වනදා ආරම්භ කරන ලද ‘රටම එකට’ ජාතික මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන යටතේ මේ දක්වා පුද්ගලයින් 124,412 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති ජාතික මෙහෙයුම් කමිටු රැස්වීමේදී අනාවරණය විය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ මත්ද්‍රව්‍ය වැටලීම්වල ප්‍රමාණාත්මක වර්ධනය ධනාත්මක තත්ත්වයක් වුවද, අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මහජනතාවගේ මෙන්ම මෙහෙයුම් කණ්ඩායම්වල ද විශ්වාසය තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතාවය විය යුතු බවයි. රට හමුවේ විවිධ සමාජ හා ආර්ථික අභියෝග පැවතියද, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ රජයේ වැඩපිළිවෙළ කිසිදු හේතුවක් මත අඩාල නොවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී දැඩිව ප්‍රකාශ කළේය.
මෙම වැඩසටහන යටතේ අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි ළමුන් 1,772ක් සහ ගැහැනු ළමුන් 81ක් සිටින බවත්, සැකකරුවන් 2,268ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවත් ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිකුත් කළ නිවේදනයක දැක්වේ. වැටලීම්වලදී කංසා කිලෝ 4,520ක්, හෙරොයින් කිලෝ 1,066ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,930ක් සහ මෙරට ඉතිහාසයේ විශාලතම කොකේන් තොගය ලෙස සැලකෙන කිලෝ 270ක කොකේන් ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. මීට අමතරව නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් සැකකරුවන් 196 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 1,840 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇත.
පුනරුත්ථාපන ක්‍රියාවලියේ පවතින නීතිමය අඩුපාඩු හේතුවෙන් පුද්ගලයින් යොමු කිරීමේ ප්‍රමාදයන් පවතින බව නිලධාරීන් පෙන්වා දුන් අතර, වත්මන් අවශ්‍යතාවලට ගැළපෙන පරිදි අදාළ නීති කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදී උපදෙස් දුන්නේය. මත්ද්‍රව්‍ය නඩු සඳහා පමණක් වෙන්වූ විශේෂ අධිකරණ පිහිටුවීම, පළාත් මට්ටමින් මත්ද්‍රව්‍ය අධිකරණ ඇති කිරීම සහ පොලිස් නීති කොට්ඨාස බලගැන්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මීට අමතරව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා බාහිර රෝගී සේවාවල සිට ප්‍රජා මට්ටමේ පුනරුත්ථාපනය දක්වා වූ උපාය මාර්ග හයක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද අනාවරණය විය.
පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් අවට වැටලීම් දැඩි කිරීම, ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සහ මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ අවස්ථාවන්ට මාධ්‍ය ආවරණය ලබාදීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙන ලදී. මෙම රැස්වීම සඳහා අනුනායක හිමිවරුන් ඇතුළු ආගමික නායකයින්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක, ආරක්ෂක ලේකම්, මහජන ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














