ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජාතික ජන බලවේග රජය විසින් ආරම්භ කරන ලද “රටම එකට” විෂ මත්ද්‍රව්‍ය මර්දන ජාතික මෙහෙයුම යටතේ ඊයේ (29) දිනයේදී පමණක් සැකකරුවන් 980 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කර තිබේ. දිවයින පුරා ක්‍රියාත්මක වූ මෙම විශේෂ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය වැරදිවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති අතර එම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් පිරිස අතරට හේරොයින් සම්බන්ධ සැකකරුවන් 340ක්, අයිස් (Ice) සම්බන්ධ සැකකරුවන් 215ක්, ගංජා සම්බන්ධ සැකකරුවන් 280ක් සහ මාවා ඇතුළු අනෙකුත් මත්පෙති සම්බන්ධ සැකකරුවන් 145ක් ඇතුළත් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර අනෙකුත් පිරිස අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීම සඳහා ආරම්භ කර ඇති මෙම “රටම එකට” වැඩපිළිවෙළ ඉදිරි දිනවලදී තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අංශ අවධාරණය කරයි.














