2026 වසරේ ඉතාලියේ පැවැත්වෙන මිලානෝ කෝර්ටිනා (Milano Cortina 2026) ශීත ඍතු ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ශ්‍රී ලාංකිකයෙකුට සුවිශේෂී අවස්ථාවක් හිමිව තිබේ. ඒ, එම ක්‍රීඩා උළෙලේ නිල ස්වේච්ඡා බලකාය වන “කණ්ඩායම 26” (Team26) හි පිරිස් කළමනාකරණ අංශය සඳහා රවීන්ද්‍ර කුමාරගේ මහතා තේරී පත්වීමත් සමඟයි.
මෙම අවස්ථාව ජයග්‍රහණය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවූයේ ලොව පුරා රටවල් රැසකින් අයදුම්පත් 135,000කට අධික ප්‍රමාණයක් මේ සඳහා ලැබී තිබූ බැවිනි. ඉන් තෝරාගැනුණු 18,000ක සීමිත පිරිස අතරට ඇතුළත් වීමට රවීන්ද්‍ර මහතා සමත්ව ඇත්තේ අතිශය තරඟකාරී පරීක්ෂණ සහ දුෂ්කර පුහුණු පාඨමාලා රැසක් සාර්ථකව නිම කිරීමෙන් පසුවය. තේරී පත් වූවන්ගෙන් බහුතරය ඉතාලි ජාතිකයන් වන පසුබිමක, විදේශිකයෙකු ලෙස ශ්‍රී ලාංකිකයෙකුට මෙම අවස්ථාව හිමිවීම කැපී පෙනෙන ජයග්‍රහණයකි.
වසර 25ක පමණ ක්‍රීඩා ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත රවීන්ද්‍ර කුමාරගේ මහතා ඉතාලියේ “කෙනිහා” ක්‍රීඩා ඇකඩමියේ නිර්මාතෘවරයා ද වෙයි. ඔහුගේ එම වෘත්තීය නිපුණතාවය සහ ක්‍රීඩාව කෙරෙහි දක්වන කැපවීම මෙම ජාත්‍යන්තර ඇගයීමට මූලික වී තිබේ.
ලොව දැවැන්තම ක්‍රීඩා සැණකෙළියක් වන ඔලිම්පික් උළෙලක කළමනාකරණ මට්ටමේ වගකීමක් දරමින් ශ්‍රී ලාංකික අනන්‍යතාවය ජාත්‍යන්තරය හමුවේ ඔසවා තැබීමට රවීන්ද්‍ර මහතා ලැබූ මෙම අවස්ථාව සමස්ත ශ්‍රී ලංකාවටම මහත් අභිමානයකි.














