සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම අසභ්‍ය වචන භාවිත කරමින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන හිමියන්ට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වා කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළේය. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ උන්වහන්සේට මීට පෙර අධිකරණය විසින් පනවා තිබූ ඇප කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුවය.
2023 වසරේ ජූලි මාසයේදී සද්ධාරතන හිමියන්ට ඇප ලබා දීමේදී, නැවත කිසිදු ආකාරයකින් අසභ්‍ය වචන භාවිත කරමින් ප්‍රකාශ නිකුත් නොකරන ලෙසට අධිකරණය දැඩි ලෙස අවවාද කර තිබුණි. එහෙත් එම නියෝගය නොතකා උන්වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා සහ නීතිඥවරුන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන සහිත ප්‍රකාශ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ගේ නීතිඥවරයා විසින් මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව අදාළ සිද්ධියට අදාළ සාක්ෂි සහ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස අගතියට පත් පාර්ශවයට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා, එම විමර්ශනවල ප්‍රගතිය ලබන අප්‍රේල් මස 22 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කළේය.














