කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ලේක්හවුස් ආයතනය සමඟ එක්ව නිකුත් කරනු ලබන “Rebuild Industries” නිල පුවත්පත සහ එහි අන්තර්ජාල e-පුවත්පත ඊයේ (18) නිල වශයෙන් එළිදැක්විණි. ලේක්හවුස් ආයතන පරිශ්‍රයේදී පැවැති මෙම උත්සවය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ලේක්හවුස් සභාපති ගාමිණි වරුෂමාන මහතා විසින් පුවත්පතේ මංගල කලාපය අමාත්‍යවරුන් වෙත පිළිගන්වන ලදී.
වසර 2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක් ළඟා කර ගැනීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන පුළුල් වැඩපිළිවෙළේ තොරතුරු ජනගත කිරීම මෙම පුවත්පතේ ප්‍රධාන අරමුණයි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේ බස්නාහිර පළාතට පමණක් සීමා වී ඇති ව්‍යවසායකත්වය දිවයිනේ සෙසු ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමටත්, කර්මාන්තකරුවන්ගේ ශක්‍යතාවන් ඒකාබද්ධ කිරීමටත් මෙය කදිම අවස්ථාවක් වන බවයි. රට පුරා කර්මාන්ත ජනපද සහ අපනයන කර්මාන්ත ගම්මාන ආරම්භ කර එම ප්‍රදේශවලම රැකියා උත්පාදනය කිරීම රජයේ අපේක්ෂාව බව ද ඔහු පැවසීය.
මාධ්‍යයේ භූමිකාව පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අමාත්‍යාංශයේ දක්ෂතා පමණක් නොව එහි පවතින අඩුපාඩු සහ ජනතාවගේ විවේචන ද නිර්භීතව ඉදිරිපත් කිරීමට මෙම පුවත්පත වේදිකාවක් විය යුතු බවයි. පක්ෂග්‍රාහී ගුණ ගැයීමකින් තොරව සත්‍ය තොරතුරු ජනතාවට ලබා දීම සඳහා ලේක්හවුස් ආයතනය සහ අමාත්‍යාංශය එක්ව කටයුතු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙම තොරතුරු ජනතාවට සමීප කිරීමට සැලසුම් කර ඇති අතර මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු උසස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.














