මෑතකදී බලපෑ “දිට්වා” (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ කොළඹ-බදුල්ල උඩරට දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ජාත්‍යන්තර මට්ටමේ පළපුරුදු ඉංජිනේරු සමාගම්වල සහභාගීත්වයෙන් මේ වන විට වේගවත්ව සිදු කෙරෙමින් පවතී. “රීබිල්ඩිං ශ්‍රී ලංකා” (Rebuilding Sri Lanka) ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් ස්වභාවික විපත් හේතුවෙන් විනාශ වූ මාර්ග, පාලම් සහ දුම්රිය මාර්ග ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම ඉලක්ක කර තිබේ. දැනට දුම්රිය ධාවනය රඹුක්කන දක්වා පමණක් සීමා වී ඇති අතර, ඉතිරි කොටස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමත සැලසුම්වලට අනුව සහ පස සංරක්ෂණ ක්‍රමවේදයන් යොදා ගනිමින් 2026 ජූනි මස අවසන් වන විට නිම කිරීමට අපේක්ෂිතය.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය 25 වන දින නානුඔය සහ අඹේවෙල අතර පිහිටි එල්ජින් ඇල්ල (Elgin Falls) ආසන්නයේ ක්ෂේත්‍ර පරීක්ෂාවක නිරත වෙමින් ප්‍රතිසංස්කරණ කටයුතුවල අවසන් අදියර නිරීක්ෂණය කළේය. නානුඔය-අඹේවෙල අතර කොටසෙහි නායයෑම් සහ ගිලා බැසීම් හේතුවෙන් ස්ථාන 14 කට දැඩි හානි සිදුව තිබූ අතර, ඉන් ස්ථාන 13 ක් මේ වන විටත් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇත. ක්ෂේත්‍ර පරීක්ෂාව අතරතුර අමාත්‍යවරයා දුම්රිය තාක්ෂණික සේවා අංශයේ නිලධාරීන් සහ සේවකයින් මුණගැසී ඔවුන්ගේ කැපවීම අගය කළ අතර, සංචාරක ක්ෂේත්‍රයට සහ ප්‍රදේශයේ ආර්ථිකයට උඩරට දුම්රිය මාර්ගයෙන් ලැබෙන දායකත්වය සැලකිල්ලට ගනිමින් හැකි ඉක්මනින් මහජනතාව මුහුණ දෙන දුෂ්කරතා විසඳීමට පියවර ගන්නා බවට සහතික විය.













