දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පිහිටුවා ඇති ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) ජනාධිපති කාර්යාලයේදී රැස්විය. ආපදාවෙන් පසු රටේ පුනරුත්ථාපන කටයුතු විධිමත් ලෙස සම්බන්ධීකරණය කිරීම මෙම බලකායේ මූලික අරමුණයි.
මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය. දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස සහ යටිතල පහසුකම් පිළිබඳ සම්පූර්ණ තක්සේරු වාර්තාවක් මෙම මාර්තු මාසය අවසන් වීමට පෙර ලබා දීමට නියමිතය. දැනට අවතැන් කඳවුරුවල රැඳී සිටින ජනතාවට ස්ථිර නිවාස ලබාදීමේ වැඩපිළිවෙළට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරිය මෙහිදී උපදෙස් ලබා දුන්නාය. ඔවුන් දිගුකාලීනව කඳවුරුවල රැඳී සිටීමෙන් ඇති විය හැකි සමාජයීය ගැටලු පිළිබඳව ද ඇය අවධාරණය කළාය.
‘Rebuilding Sri Lanka’ අරමුදලට මෙතෙක් ලැබී ඇති විදේශීය ආධාර සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. දිස්ත්‍රික් ලේකම්වරුන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තම ප්‍රදේශවල පවතින ගැටලු ඉදිරිපත් කළ අතර, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටියහ.














