නායයෑම් සහ නායයෑමේ අධි අවදානම හේතුවෙන් පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නිවසක් ඉදිකිරීම සඳහා රජය විසින් ලබාදෙන මූල්‍යාධාර මුදල රුපියල් මිලියන 2.5 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (09) අනුමැතිය ලබා දුන්නේය. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව මෙතෙක් එක් නිවසක් ඉදිකිරීම සඳහා උපරිම වශයෙන් ලබාදුන් රුපියල් මිලියන 1.6ක මුදල වත්මන් ඉදිකිරීම් පිරිවැය සලකා බලා මෙසේ සංශෝධනය කර තිබේ. මෙම වැඩසටහන මඟින් නායයෑම් අධි අවදානම් කලාපවල ජීවත් වන පවුල් හඳුනාගෙන ඔවුන් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කරවීම සඳහා ප්‍රතිලාභියා විසින්ම නිවස ඉදිකර ගැනීමේ ක්‍රමවේදය යටතේ සෘජු මූල්‍ය සහාය ලබාදීම සිදු කෙරේ. මෙම නව සංශෝධනය හරහා ආපදා අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවට වඩාත් ගුණාත්මක සහ ආරක්ෂිත ස්ථිර නිවාස හිමිකර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.














