ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් දිවයිනේ ප්‍රධාන පාසල්වල නේවාසිකාගාර තුළ පවතින බරපතල ගැටලු සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පවතින අවිධිමත්භාවය පිළිබඳව කරුණු අනාවරණය කළේය. ඈත ගම්බිම්වල සිට ඉහළම ලකුණු ලබාගෙන කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල පාසල්වලට පැමිණෙන දක්ෂ දරුවන් නේවාසිකාගාර තුළ විවිධ පීඩාවලට ලක්වන බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
නේවාසිකාගාර සඳහා දෙමාපියන්ගෙන් අධික මුදලක් අය කළද, ඒ හා සමාන සේවාවක් හෝ ගුණාත්මක ආහාර වේලක් දරුවන්ට නොලැබෙන බවට බරපතල මැසිවිලි පවතින බව ස්ටාලින් මහතා පැවසීය. මාසික ගාස්තුවලට අමතරව විවිධ හේතු දක්වමින් මුදල් ලබා ගැනීමත්, ආහාරවල ප්‍රමිතියක් නොමැති වීමත් නිසා දරුවන් පෝෂණීය මෙන්ම මානසික මට්ටමින් පීඩාවට පත්ව සිටින බව ඔහු අවධාරණය කළේය. පාසල් සතු ස්ථාවර තැන්පතුවල රුපියල් කෝටි ගණනින් මුදල් තිබියදී දරුවන්ගේ සුබසාධනය සඳහා එම මුදල් යොදවනු වෙනුවට යළිත් දෙමාපියන්ගෙන්ම මුදල් අය කිරීමට උත්සාහ කිරීම ඔහු දැඩි ලෙස විවේචනය කළේය. මෙම ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වහාම පරීක්ෂණයක් පවත්වා දරුවන්ට අවශ්‍ය නිදහස සහ පහසුකම් තහවුරු කළ යුතු බව ඔහු කියා සිටියේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ලබන වසරේ සිට හය වසර සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ විධිමත් සැලසුමකින් තොරව සිදු වූවක් බවයි. මොඩියුල ක්‍රමය (Module system) ඉදිරියට ගෙන යා හැකිද යන්න පිළිබඳව තවමත් ගැටලු පවතින බවත්, මේ පිළිබඳව සොයා බැලීමට පත් කරනවා යැයි පැවසූ කමිටුව මෙතෙක් ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක් බවත් ඔහු පැවසීය. රටට සැබෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වුවද, පවතින අවිධිමත් වැඩපිළිවෙළ නිවැරදි කිරීමට රජය මෙතෙක් කටයුතු කර නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














