නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු, දූෂණ චෝදනා මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය 19 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ 2014 වර්ෂයේදී කොළඹ “සිරිසඳ සෙවන” නිවාස සංකීර්ණයේ නිවාස 22ක්, නාගරික සංවර්ධන අධිකාරියේ නිල ප්‍රතිපත්තියට පටහැනිව සහ සුදුසුකම් නොමැති පුද්ගලයන් පිරිසකට වෙන් කර දීමේ චෝදනාව මතය. “නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය” යටතේ කොළඹ අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් ඉදිකළ මෙම නිවාස ලබාදීමේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් කොමිසම දීර්ඝ විමර්ශනයක් පවත්වා තිබුණි.
අත්අඩංගුවට ගත් විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ. වත්මන් රජය යටතේ දූෂණ විමර්ශන කටයුතු වේගවත් වී ඇති පසුබිමක, මෙම නිවාස වංචාවට සම්බන්ධ අනෙකුත් නිලධාරීන් පිළිබඳව ද කරුණු හෙළි කරගැනීමට විමර්ශන අංශ පියවර ගනිමින් සිටියි.














