බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සහ සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින්, නියමිත පරිදි විශ්‍රාම ලබා සිටින නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට බඳවා ගැනීමට තීරණය කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කරන පරිදි, මේ සඳහා වයස අවුරුදු 65ට අඩු විශ්‍රාමික නිලධාරීන්ට අයදුම් කළ හැකිය.
මෙම බඳවා ගැනීම් යටතේ I පෙළ ජේලර්, II පෙළ ජේලර්, සැරයන්, නියාමක වැනි ක්ෂේත්‍ර නිලධාරීන් මෙන්ම හෙද සහ ඖෂධ සංයෝජක වැනි සෞඛ්‍ය සේවා තනතුරු සඳහා ද අවස්ථාව සලසා දී ඇත. බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව සහ රැඳවියන්ගේ සුභසාධන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අත්දැකීම් ප්‍රයෝජනයට ගැනීම රජයේ අපේක්ෂාවයි.
මෙම බඳවා ගැනීම්වලට අදාළ සුදුසුකම්, අයදුම්පත් සහ වැඩිදුර තොරතුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.prisons.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.














