ඉරානයේ අවසන් ෂා රජුගේ පුත් සහ එරට විපක්ෂයේ ප්‍රබල චරිතයක් වන රේසා පහ්ලවි (Reza Pahlavi), ඉරානයේ පවතින පාලන තන්ත්‍රය පෙරලා දැමීම සඳහා අමෙරිකානු හමුදා මැදිහත්වීමක් අවශ්‍ය බව අවධාරණය කරයි. මියුනිච් ආරක්ෂක සමුළුවට සමගාමීව රොයිටර් පුවත් සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, අමෙරිකානු ප්‍රහාරයක් මගින් ඉරාන රජය දුර්වල කිරීමට හෝ එහි බිඳ වැටීම වේගවත් කිරීමට හැකි වනු ඇති බවයි.
දැනට අමෙරිකාවේ වෙසෙන පහ්ලවි පවසන්නේ, ඉරාන පාලකයින් සමඟ න්‍යෂ්ටික ගිවිසුම් සඳහා කාලය වැය කිරීම පලක් නොමැති බවයි. “හමුදාමය මැදිහත්වීමක් යනු ජීවිත බේරා ගැනීමේ මාර්ගයක්. සාකච්ඡා මගින් කිසිදු විසඳුමක් නොලැබෙන බව තේරුම් ගෙන, ජනාධිපති ට්‍රම්ප් පොරොන්දු වූ පරිදි ඉරාන ජනතාව වෙනුවෙන් ඉදිරිපත් විය යුතු කාලය එළඹ තිබෙනවා,” යැයි ඔහු සඳහන් කළේය.
ඉරානය තුළ පසුගිය කාලයේ ඇති වූ දැඩි මහජන විරෝධතා මර්දනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග හමුවේ පාලනය බිඳ වැටීමේ ලකුණු පෙනෙන්නට තිබෙන බව පහ්ලවිගේ විශ්වාසයයි. කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණේ පහ්ලවි හට ඉරානය තුළ පවතින සැබෑ මහජන සහයෝගය පිළිබඳව තමන්ට සැකයක් පවතින බවයි. මේ අතර, ඉරානයට එරෙහිව සති කිහිපයක දැවැන්ත හමුදා මෙහෙයුමක් සඳහා අමෙරිකානු හමුදාව සූදානම් වෙමින් පවතින බව ද වාර්තා වේ.














