ප්‍රංශයේ වාමවාදී දේශපාලන පක්ෂයක් වන ‘La France Insoumise’ (LFI) නියෝජනය කරන යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී රීමා හසන් (Rima Hassan), ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනා මත එළඹෙන ජූලි මාසයේදී විභාග වන නඩුවකට මුහුණ දීමට නියමිත බව පැරිස් නඩු පවරන්නන්ගේ කාර්යාලය ඊයේ (02) ප්‍රකාශ කළේය. 1972 වසරේ ඊශ්‍රායලයේ ලොඩ් (Lod) ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඇය විසින් X (ට්විටර්) සමාජ මාධ්‍ය ජාලයේ තබන ලද සටහනක් මෙම නඩු පැවරීමට හේතු වී තිබේ.
පසුගිය මාර්තු 26 වනදා ඇය විසින් පළ කරන ලද එම සටහන ත්‍රස්තවාදයට සහාය දැක්වීමක් ලෙස සැලකිය හැකි බවට සැක කිරීම හේතුවෙන් ඊයේ දිනයේදී ඇයව පොලිස් භාරයට ගෙන පැය කිහිපයක් ප්‍රශ්න කර ඇත. අදාළ සටහන මගින් 1972 දී පුද්ගලයන් 26 දෙනෙකුට මරු කැඳවූ ජපන් රතු හමුදාව (Japanese Red Army) විසින් එල්ල කළ ප්‍රහාරය සාධාරණීකරණය කිරීමට උත්සාහ කර ඇති බවට බලධාරීන් චෝදනා කරයි. ඇය පසුව එම සටහන මකා දමා තිබුණද, ඒ සම්බන්ධයෙන් විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක විය.
ප්‍රංශ නීතියට අනුව අන්තර්ජාලය හරහා ත්‍රස්තවාදය වර්ණනා කිරීම හෝ සාධාරණීකරණය කිරීම වසර 7 ක උපරිම සිරදඬුවමකට සහ යුරෝ 100,000 ක දඩයකට යටත් කළ හැකි වරදකි. ඒ අනුව එළඹෙන ජූලි 07 වනදා ඇය අපරාධ අධිකරණය හමුවට පෙනී සිටිය යුතු බවට සිතාසි නිකුත් කර තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ප්‍රංශය තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ වාමවාදී දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳව මෙහිදී ජාත්‍යන්තර අවධානය යොමු වී ඇත.














