ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව තහවුරු වීමත් සමඟ, Sky News Australia නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකා රීටා පනාහි (Rita Panahi) සජීවී විකාශයක් අතරතුර එල්ල කළ දැඩි වාචික ප්‍රහාරය මේ වන විට ලොව පුරා දැඩි අවධානයට ලක්ව තිබේ.
වසර 36ක් ඉරානය පාලනය කළ කමේනිගේ මරණය වාර්තා කරමින් රීටා පනාහි පවසා සිටියේ, “අභාවප්‍රාප්ත උත්තරීතර නායකයාට පණිවිඩයක් තිබේ: තොපි වැනි නීචයන් අපායේ දැවී යා යුතුයි!” (You son of a b*tch, burn in Hell!) යනුවෙනි. ඉරාන සම්භවයක් සහිත මෙම නිවේදිකාවගේ ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් සේ පැතිර යමින් පවතී.
කමේනිගේ මරණය සැලවීමත් සමඟ ඉරානය තුළ දෙබිඩි ප්‍රතිචාරයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇතැම් නගරවල ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි ශෝකය පළ කරද්දී, තවත් ප්‍රදේශවල ජනතාව වීදි බැස ගිනිකෙළි පවත්වමින් සිය සතුට ප්‍රකාශ කරන අයුරු දක්නට ලැබේ.
පසුගිය සෙනසුරාදා එල්ල වූ අමෙරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් අයතුල්ලා අලි කමේනි මියගිය බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය විසින් ඊයේ (01) තහවුරු කරන ලදී.
















