පෙබරවාරි 05 – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV) සිය ඉතිහාසයේ මසක් තුළ වාර්තා කළ වැඩිම ආදායම ලෙස රුපියල් මිලියන 3,500ක මුදලක් මෙම වසරේ (2026) ජනවාරි මාසයේදී උපයා ගැනීමට සමත්ව තිබේ. මෝටර් රථ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ ඉකුත් ජනවාරි මාසය තුළ පමණක් නව වාහන 55,000ක් ලියාපදිංචි කර ඇති බවයි. මීට පෙර දෙපාර්තමේන්තුව ලැබූ වැඩිම වාර්ෂික ආදායම 2025 වසරේදී වාර්තා වී ඇති අතර එය රුපියල් බිලියන 20.3කි.
නව වාහන ලියාපදිංචිය ඉහළ යාම, විදේශිකයන් සඳහා කටුනායක ගුවන්තොටුපොළේදී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන හිමිකාරිත්වය පැවරීම සහ නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මෙම දැවැන්ත ආදායම් වර්ධනයට ප්‍රධාන හේතු වී තිබේ. ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු නිලධාරීන්ගේ මඟපෙන්වීම සහ සේවක කැපවීම මෙම ජයග්‍රහණයට හේතු වූ බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය. මෙම වසර සඳහා නියමිත ආදායම් ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් මේ වන විටත් නව උපායමාර්ග රැසක් ක්‍රියාවට නංවා ඇති බව ද වාර්තා වේ.













