තම බිරිඳ වන මෙලිසා හොස්කින්ස්ගේ (Melissa Hoskins) මරණය සම්බන්ධයෙන් තමන් පිළිබඳව වැරදි චිත්‍රයක් මවාපෑමට මාධ්‍ය කටයුතු කළ බව පවසමින් ප්‍රකට ඔලිම්පික් සයිකල් ක්‍රීඩක රෝහන් ඩෙනිස් (Rohan Dennis) ඉන්ස්ටග්‍රෑම් (Instagram) පණිවිඩයක් හරහා දැඩි විවේචනයක් එල්ල කර තිබේ. 2023 වසරේදී ඔහුගේ මෝටර් රථයේ ගැටීමෙන් මෙලිසා මියගිය අතර, ඔහු පවසන්නේ තමන් කිසිවිටෙකත් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට සහය නොදක්වන බවයි.
මෙම සිදුවීමට අදාළව 2025 මැයි මාසයේදී රෝහන් ඩෙනිස් හට මාස 17ක අත්හිටවූ සිරදඬුවමක් නියම වූ අතර, එහිදී ඔහු මාරාන්තික අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරු වුවද මිනීමැරුම් චෝදනාවලින් නිදහස් විය. අධිකරණයේදී අනාවරණය වූයේ නිවස අලුත්වැඩියා කිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමකින් පසු ඔහු රථය පදවාගෙන යන විට බිරිඳ එහි එල්ලී සිට ඇති බවත්, පසුව ඇය බිමට වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවත්ය.
මාධ්‍යවේදීන් තමන් පසුපස හඹා එමින් තමන් මිනීමරුවෙකු ලෙස හංවඩු ගැසීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කරයි. “ඔවුන්ට අවශ්‍ය වුණේ මාව බිරිඳට වද දුන් ස්වාමිපුරුෂයෙකු ලෙස පෙන්වන්නයි. නමුත් මම ඇයට ආදරය කළා, මගේ දරුවන්ගේ මවට රිදවන්න මට කිසිම අදහසක් තිබුණේ නැහැ,” යනුවෙන් ඔහු සඳහන් කර ඇත. මෑතකදී ඔහු සිය සුඛෝපභෝගී මෝටර් රථයක ඡායාරූපයක් පළ කිරීම ද බොහෝ දෙනාගේ විවේචනයට ලක්වූ අතර, ඔහු පවසන්නේ මාධ්‍ය විසින් තමන්ගේ වචන විකෘති කර ලාභ ජනප්‍රියත්වයක් ලබා ගැනීමට උත්සාහ කරන බවයි.















