රුමේනියාවේ නගර සභා සහ ප්‍රාදේශීය සභා වෙත තම බල ප්‍රදේශය තුළ සූදු මධ්‍යස්ථාන සහ ස්ලොට් මැෂින් (Slot machines) ශාලා සීමා කිරීමට හෝ සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අවසර දෙමින් රුමේනියානු රජය නව හදිසි නීති මාලාවක් හඳුන්වා දී තිබේ. මෙතෙක් මධ්‍යම රජයේ අවසරය මත පමණක් ක්‍රියාත්මක වූ මෙම මධ්‍යස්ථාන සඳහා මෙතැන් සිට අදාළ නගරාධිපතිවරුන්ගේ හෝ පළාත් පාලන ආයතනවල සෘජු අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ.
මෙම නව නීතිමය තත්ත්වය යටතේ රුමේනියාවේ නගර 200කට අධික සංඛ්‍යාවක් සූදු ව්‍යාපාර තහනම් කිරීමට සූදානමින් සිටින අතර ඒ අතුරින් ප්‍රධාන නගර නවයක් දැනටමත් සිය බල ප්‍රදේශ තුළ පූර්ණ තහනමක් පැනවීමට තීරණය කර ඇත. දකුණු රුමේනියාවේ ස්ලැටිනා (Slatina) නගරයේ නගරාධිපති මාරියෝ ඩි මෙසෝ ප්‍රකාශ කර ඇත්තේ පවතින බලපත්‍ර කල් ඉකුත් වූ වහාම තම නගරයෙන් සියලුම සූදු ශාලා ඉවත් කරන බවයි. සූදුව සමාජයට විෂක් බඳු බවත් එය පවුල් ජීවිත විනාශ කරන අතර මිනිසුන් සියදිවි නසා ගැනීමට පවා පොළඹවන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
රුමේනියානු සූදු ක්ෂේත්‍රය වසරකට යුරෝ බිලියන ගණනක පිරිවැටුමක් සහිත ව්‍යාපාරයක් වන අතර 2025 වසරේදී පමණක් රජයට යුරෝ බිලියනයකට ආසන්න බදු ආදායමක් ලබා දී තිබේ. කෙසේ වෙතත් ආර්ථික වාසිවලට වඩා මහජන සෞඛ්‍යය සහ සමාජ සුබසාධනය වැදගත් බව පවසන රජයේ නියෝජිතයින් පෙන්වා දෙන්නේ පාසල් සහ පදිංචි ප්‍රදේශ අසල සූදු මධ්‍යස්ථාන බහුල වීම බරපතල ගැටලුවක් බවයි. මල් සාප්පුවක් ආරම්භ කිරීමට පවා නගර සභාවේ අවසරය අවශ්‍ය වන පරිසරයක මෙතරම් විනාශකාරී ව්‍යාපාරයකට මධ්‍යම රජය පමණක් අවසර දීම අසාධාරණ බව “සේව් රුමේනියා යූනියන්” පක්ෂයේ මන්ත්‍රී ඩයනා ස්ටොයිකා සඳහන් කළාය.
පළාත් පාලන ආයතන වෙත ලබා දුන් මෙම බලතලවලට අමතරව රුමේනියානු පාර්ලිමේන්තුව ද සූදු ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා නව යෝජනා කිහිපයක් සාකච්ඡා කරමින් පවතී. ඒ යටතේ වයස අවුරුදු 21ට අඩු පුද්ගලයන්ට සූදු ශාලාවලට ඇතුළු වීම තහනම් කිරීම, පෙ.ව. 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා අන්තර්ජාල සූදු දැන්වීම් පාලනය කිරීම සහ පාඩු ලැබිය හැකි මුදල ප්‍රකාශිත ආදායමෙන් 10%කට සීමා කිරීම වැනි පියවර ඇතුළත් වේ. මෙම දැඩි තීරණ හරහා සූදුවට ඇබ්බැහි වීම නිසා සිදුවන පවුල් බිඳ වැටීම් සහ අකල් මරණ වළක්වා ගැනීමට රුමේනියානු බලධාරීන් අපේක්ෂා කරයි.














