ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට වෙන් කර ඇති රජයට අයත් වාහන පිළිබඳ සම්පූර්ණ තොරතුරු නිකුත් කිරීමට එම කාර්යාලය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසම (RTI Commission) ඉදිරියේ එකඟ වී තිබේ. මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් ඉදිරිපත් කළ අයදුම්පතකට අනුව, අදාළ වාහන භාවිත කරන නිලධාරීන්ගේ නම්, තනතුරු, වාහන අංක සහ මාදිලිය ඇතුළු විස්තර මෙලෙස ප්‍රසිද්ධ කිරීමට නියමිතය. මීට පෙර පෞද්ගලික තොරතුරු බව පවසමින් මෙම දත්ත ලබා දීම ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබුණද, අභියාචනා විභාගයෙන් පසු එම තීරණය වෙනස් වී ඇත.
රාජ්‍ය වාහන වෙන් කිරීම් පිළිබඳ තොරතුරු පෞද්ගලික තොරතුරු ලෙස රඳවා ගත නොහැකි බවත්, මහජන අවධානය දිනාගත් මෙවැනි කරුණු දැන ගැනීමට පුරවැසියන්ට අයිතියක් ඇති බවත් කොමිසම මෙහිදී තීන්දු කළේය. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය අවසන් වීමෙන් පසු ආපසු භාර දුන් වාහන වෙනත් ආයතන වෙත පැවරූ ආකාරය පිළිබඳ තොරතුරු ද 2026 ජනවාරි 31 වන විට ලබා දිය යුතු බවට නියෝග කර තිබිණි. මීට අමතරව, චීන සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ක්‍රියාත්මක වූ කටාන ජල ව්‍යාපෘතියේ ගිවිසුම්ගත තොරතුරු ද හෙළි කරන ලෙස විදේශ සම්පත් අමාත්‍යාංශයට කොමිසම නියෝග කර ඇත.














