යුක්රේන යුද්ධය සහ නේටෝ (NATO) සංවිධානය සමඟ පවතින දැඩි නොසන්සුන්කාරී වාතාවරණය මධ්‍යයේ, රුසියාව සිය උපායමාර්ගික මිසයිල බලකාය යොදා ගනිමින් සයිබීරියානු කලාපයේදී විශේෂ යුද අභ්‍යාසයක් පවත්වා ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අද (02) නිවේදනය කළේය. මෙහිදී න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි “යාර්ස්” (Yars) වර්ගයේ අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිල පද්ධති (ICBM) භාවිතා කර තිබේ.
මෙහිදී ප්‍රධාන වශයෙන්ම සතුරාට හසු නොවන පරිදි මිසයිල පද්ධති රහසිගතව ගෙන යාම (Camouflage and concealment) සහ සතුරු ගුවන් ප්‍රහාරවලට සාර්ථකව මුහුණ දෙන ආකාරය පිළිබඳව රුසියානු සෙබළුන් පුහුණුවීම් ලබා ඇත. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම අභ්‍යාසයේදී මිසයිල අභ්‍යවකාශයට මුදා හැරීමක් (Launch) සිදු කර නොමැති වුවද, ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික ප්‍රහාරයක් සඳහා සූදානම්ව සිටින බව පෙන්වීමට රුසියාව මෙලෙස කටයුතු කර තිබේ.
වත්මන් ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක දේශපාලනය තවදුරටත් උණුසුම් වී ඇති පසුබිමක, රුසියාව මෙලෙස සිය න්‍යෂ්ටික බලය ප්‍රදර්ශනය කිරීම බටහිර රටවල් වෙත නිකුත් කරන ලද ප්‍රබල අනතුරු ඇඟවීමක් ලෙස ආරක්ෂක විශ්ලේෂකයෝ හඳුන්වති. විශේෂයෙන්ම ඇමෙරිකාව ඇතුළු බටහිර මිත්‍ර පාර්ශවයන් යුක්රේනයට ලබාදෙන සහාය හමුවේ රුසියාව මෙවැනි නිතිපතා යුද අභ්‍යාස පවත්වමින් සිය යුද සූදානම තහවුරු කරයි.














