මැදපෙරදිග කලාපයේ, විශේෂයෙන්ම ඉරානය කේන්ද්‍ර කරගනිමින් පවතින දැඩි යුදමය වාතාවරණය හමුවේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් විසින් යුරෝපයට සපයන ස්වාභාවික ගෑස් සැපයුම වහාම අත්හිටුවීමට සලකා බලමින් සිටින බවට අනතුරු අඟවා තිබේ. ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හමුවේ ලෝක බලශක්ති මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක, රුසියාව සිය “ගෑස් අවිය” මෙලෙස අමෝරා ඇත.
පූටින් පෙන්වා දෙන්නේ යුරෝපා සංගමය විසින් 2027 වන විට රුසියානු ගෑස් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ගෙන ඇති තීරණය නිසා, ඔවුන් එම තහනම ක්‍රියාත්මක කරන තෙක් නොසිට දැන්ම වෙනත් වෙළෙඳපොළවල් සොයා යාම රුසියාවට වඩාත් වාසිදායක බවයි. විශේෂයෙන්ම කටාර් රාජ්‍යයේ LNG නිෂ්පාදනය අඩාල වීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී යාම නිසා ලෝකයේ වෙනත් ගැණුම්කරුවන් රුසියානු ගෑස් සඳහා වැඩි මිලක් ගෙවීමට සූදානම්ව සිටීම මෙයට හේතුවයි. කෙසේ වෙතත්, රුසියාවට හිතවත් ස්ලෝවැකියාව සහ හංගේරියාව වැනි රටවලට දිගටම ගෑස් සපයන බව ඔහු අවධාරණය කර ඇති අතර, මෙම තීරණය යුරෝපයේ බලශක්ති සුරක්ෂිතතාවයට දැඩි තර්ජනයක් එල්ල කරනු ඇතැයි විදේශ වාර්තා පවසයි.














