රුසියාව විසින් එල්ල කරන ලද දැවැන්ත මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන ඛාර්කිව් (Kharkiv) හි පස් මහල් නිවාස සංකීර්ණයක් විනාශ වී තිබේ. ඊයේ (මාර්තු 07) සිදුවූ මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇති අතර, ඒ අතර කුඩා දරුවන් දෙදෙනෙකු ද සිටින බව වාර්තා වේ. තවත් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර, සුන්බුන් අතර තවත් පිරිසක් සිරවී සිටිනු ඇතැයි සැක කෙරේ.
යුක්රේන බලධාරීන් පවසන්නේ මෙම ප්‍රහාරය සඳහා රුසියාව විසින් මෑතකදී නිපදවන ලද “Izdeliye-30” නැමැති නවීන කෲස් මිසයිලය (Cruise Missile) භාවිතා කර ඇති බවයි. කිලෝමීටර් 1,500ක දුරක් විදිය හැකි මෙම මිසයිලය, යුක්රේන ගුවන් ආරක්ෂක පද්ධති මග හැරිය හැකි අයුරින් නිර්මාණය කර ඇති බව හඳුනාගෙන තිබේ. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මෙම ප්‍රහාරය “ම්ලේච්ඡ ක්‍රියාවක්” ලෙස හඳුන්වමින්, යුක්රේනයේ ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීමට සහාය වන ලෙස යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.














