රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ මහතා නිල සංචාරයක් සඳහා ලබන අඟහරුවාදා දිවයිනට පැමිණීමට නියමිත බව මෙරට රුසියානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පැවැත්වෙන 11 වන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීමට සහභාගී වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි. මෙම ඉහළ පෙළේ සාකච්ඡාවලදී දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ කලාපීය වශයෙන් වැදගත් වන දේශපාලනික කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තහවුරු කරමින් ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට මෙම සංචාරය ඉමහත් පිටුවහලක් වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය අපේක්ෂා කරයි.














