රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් (Vladimir Putin) සහ ඊජිප්තු විදේශ අමාත්‍ය බද්ර් අබ්දෙලට්ටි (Badr Abdelatty) අතර විශේෂ සාකච්ඡාවක් අද (02) මොස්කව් නුවරදී පැවැත්වීමට නියමිත බව ක්‍රෙම්ලින් මාළිගය නිවේදනය කරයි. මෙම හමුවේදී ප්‍රධාන වශයෙන්ම වත්මන් ඉරාන යුද්ධය සහ මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර නොසන්සුන්තාවය පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇත.
ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් (Dmitry Peskov) පවසන පරිදි, ඉරාන යුද්ධයට අමතරව රුසියාව සහ ඊජිප්තුව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම ද මෙහි තවත් අරමුණකි. ඉකුත් මාර්තු 29 වනදා පාකිස්තානයේදී පැවැති කලාපීය විදේශ අමාත්‍යවරුන්ගේ හමුවෙන් පසුව, ඊජිප්තුව මෙලෙස රුසියාව සමඟ සෘජු සාකච්ඡාවලට එළඹීම මැදපෙරදිග සාමය උදෙසා ඉතා තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය බලශක්ති සහ ආහාර සැපයුම් ජාලයන්ට එල්ල වී ඇති බලපෑම හමුවේ, රුසියාව සහ ඊජිප්තුව වැනි ප්‍රධාන පෙළේ රටවල් එක්ව කටයුතු කිරීම කලාපීය ස්ථාවරත්වයට මෙන්ම ගෝලීය දේශපාලනයට ද විශාල බලපෑමක් එල්ල කරනු ඇත. විශේෂයෙන්ම තිරිඟු ආනයනය සඳහා රුසියාව මත වැඩි වශයෙන් යැපෙන ඊජිප්තුවට, මෙම යුදමය වාතාවරණය හමුවේ සිය ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීම ද මෙහිදී වැදගත් වනු ඇත.














