රුසියාවේ පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩෙනිස් මන්ටුරොව් (Denis Manturov) ඊයේ (02) නවදිල්ලියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් හමුවී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ. බලශක්ති, පොහොර, වෙළඳාම සහ තාක්ෂණය වැනි තීරණාත්මක ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත. පසුගිය දෙසැම්බර් මාසයේදී ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ඉන්දීය සංචාරයේදී එළඹුණු එකඟතාවන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
විදේශ අමාත්‍ය ජයිශංකර් සමඟ පැවති සාකච්ඡාවේදී මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය ඇතුළු ගෝලීය දේශපාලන තත්ත්වයන් පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගෙන තිබේ. විශේෂයෙන්ම ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිගින් සිදුවන බලශක්ති සැපයුම අඩාල වී ඇති පසුබිමක, ඉන්දියාවට අවශ්‍ය බලශක්ති අවශ්‍යතාවය සපුරාලීමට රුසියාව දක්වන දායකත්වය මෙහිදී ඇගයීමට ලක්විය. රුසියානු බලශක්ති මිලදී ගැනීම සඳහා ඇමරිකාව විසින් පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමත් සමඟ ඉන්දියාවේ ප්‍රධානතම බලශක්ති සැපයුම්කරු ලෙස රුසියාව යළිත් පෙරමුණට පැමිණ සිටී.
පොහොර සහ බලශක්ති සුරක්ෂිතතාවයට අමතරව, නවීන තාක්ෂණය, නවෝත්පාදන සහ දුර්ලභ ඛනිජ සම්පත් (Critical minerals) යන ක්ෂේත්‍රයන්හි නව අවස්ථා ගවේෂණය කිරීම කෙරෙහි ද දෙපාර්ශවයේම අවධානය යොමු විය. මෙම හමුව ඉන්දියාව සහ රුසියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරන්නක් බව අග්‍රාමාත්‍ය මෝදි සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.














