ඇමෙරිකානු සහ මිත්‍ර පාර්ශවීය හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා රුසියාව විසින් ඉරානයට ඔත්තු බැලීමේ චන්ද්‍රිකා දත්ත සහ සයිබර් තාක්ෂණික සහාය ලබා දෙන බව යුක්රේන බුද්ධි අංශ වාර්තා කරයි. රොයිටර් පුවත් සේවය විසින් උපුටා දක්වන ලද මෙම වාර්තාවට අනුව, මැදපෙරදිග කලාපයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු, ගුවන්තොටුපොළවල් සහ තෙල් නිධි ඇතුළු වැදගත් ස්ථාන 46ක් රුසියානු චන්ද්‍රිකා මඟින් සමීපව නිරීක්ෂණය කර තිබේ.
පසුගිය මාර්තු 21 සිට 31 දක්වා කාලය තුළ රුසියානු චන්ද්‍රිකා මඟින් මැදපෙරදිග රටවල් 11ක හමුදා මධ්‍යස්ථාන 24 වතාවකට වඩා නිරීක්ෂණය කර ඇති අතර, එම දත්ත ඉරානය සමඟ හුවමාරු කරගෙන ඇත. මෙම නිරීක්ෂණවලින් දින කිහිපයකට පසුව ඉරානය විසින් අදාළ ඉලක්ක වෙත බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ. මෙය සැලසුම් සහගත රටාවක් අනුව සිදුවන්නක් බව බටහිර හමුදා මූලාශ්‍ර සහ කලාපීය ආරක්ෂක අංශ ද තහවුරු කර තිබේ.
මීට අමතරව, රුසියානු සහ ඉරාන හැකර්වරුන් (Hackers) ඒකාබද්ධව සයිබර් මෙහෙයුම්වල නිරත වන බවට ද යුක්රේන බුද්ධි අංශ චෝදනා කරයි. පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව මෙහෙයුම් ආරම්භ කළ දා සිට රුසියාව සහ ඉරානය අතර පවතින මෙම යුදමය සහයෝගීතාවය පිළිබඳව ලැබුණු වඩාත්ම සවිස්තරාත්මක වාර්තාව මෙය ලෙස සැලකේ. සවුදි අරාබියේ පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට (Prince Sultan Air Base) එල්ල වූ ප්‍රහාරයකින් ඇමෙරිකානු යානයකට හානි සිදුවීම ද මෙවැනි දත්ත සහාය මත සිදු වූවක් බවට සැක කෙරේ.














