ඉරානයේ පවතින වත්මන් යුදමය හා දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් වන පරස්පර විරෝධී ප්‍රකාශ පිළිබඳව රුසියාව දැඩි අවධානයෙන් පසුවන බව ක්‍රෙම්ලිනය අද (23) ප්‍රකාශ කළේය. රුසියාවේ ‘ටාස්’ (TASS) පුවත් ඒජන්සිය වාර්තා කරන පරිදි, මෙම අර්බුදය කඩිනමින් සමනය වනු ඇතැයි රුසියානු රජය විශ්වාසය පළ කර තිබේ. ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සාකච්ඡා සාර්ථක බවත් පාලන තන්ත්‍රයේ වෙනසක් සිදුවන බවත් පවසන අතරතුර ඉරානය එම සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීම වැනි එකිනෙකට පටහැනි තොරතුරු රැසක් අද දිනය තුළ ලැබී ඇති බවයි.
රුසියාව දිගින් දිගටම මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන අතර කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් කඩිනමින් සාමකාමී වාතාවරණයක් උදාවනු ඇතැයි බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය. විශේෂයෙන්ම ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය වැනි ස්ථානවලට එල්ල වන ප්‍රහාර මගින් ආපසු හැරවිය නොහැකි විනාශයක් සිදුවිය හැකි බවට රුසියාව මීට පෙර අනතුරු අඟවා තිබූ අතර එවැනි පියවරවලින් වළකින ලෙස ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවද පෙස්කොව් අවධාරණය කළේය. රුසියාව මේ වන විට ඉරානය සමඟ නිරන්තර සම්බන්ධීකරණයෙන් පසුවන අතර මැදපෙරදිග කලාපය තුළ පවතින මෙම අතිශය නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික විසඳුමක අවශ්‍යතාවය මොස්කව් පාලනය වැඩිදුරටත් පෙන්වා දෙයි.














