යුක්රේනය සමඟ පැවැත්වීමට නියමිත ඇමරිකානු මැදිහත්කාරී සාම සාකච්ඡාවලට දින කිහිපයකට පෙර, රුසියානු හමුදා ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) යුක්රේනයේ සටන් පෙරමුණේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ඔහු හමුදා භටයන් අමතමින් ප්‍රකාශ කළේ, පවතින දැඩි ශීත දේශගුණික තත්ත්වය හමුවේ වුවද රුසියානු හමුදා පෙබරවාරි මාසයේ මුල් සති දෙක තුළ පමණක් නැගෙනහිර යුක්රේනයේ ජනාවාස 12ක් සිය පාලනයට නතු කරගත් බවයි. වසර හතරකට ආසන්න කාලයක් පවතින මෙම යුද්ධය අවසන් කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී සාකච්ඡා ආරම්භ වීමට නියමිතව තිබියදී මෙම හමුදා ප්‍රගතිය පිළිබඳ වාර්තාව නිකුත් වීම විශේෂත්වයකි.
රුසියානු හමුදා මේ වන විට කාර්මික කේන්ද්‍රස්ථානයක් වන ස්ලොවියන්ස්ක් (Sloviansk) නගරය දෙසට ගමන් කරමින් සිටින අතර, ඔවුන් මේ වන විට එම නගරයට කිලෝමීටර් 15ක් තරම් ආසන්නයට පැමිණ ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ඩොනෙට්ස්ක් (Donetsk) කලාපය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීම රුසියාවේ ප්‍රධාන ඉලක්කය වී ඇති අතර, ඕනෑම සාම ගිවිසුමකට පෙර යුක්රේන හමුදා එම කලාපයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු බවට රුසියාව දැඩි කොන්දේසියක් පනවා ඇත. කෙසේ වෙතත් යුක්රේනය මෙම ඉල්ලීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ.
මීට අමතරව රුසියානු හමුදා ඊසානදිග යුක්රේනයේ සුමි (Sumy) සහ කාර්කිව් (Kharkiv) දේශසීමා ප්‍රදේශවල “ආරක්ෂක කලාපයක්” පුළුල් කරමින් සිටින බවත්, මීට පෙර රුසියාව හිමිකම් නොපෑ ද්නිප්‍රොපෙට්‍රොව්ස්ක් (Dnipropetrovsk) දෙසට ද ඉදිරියට ගමන් කරමින් සිටින බවත් ගෙරසිමොව් මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළේය. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නැවත වරක් අවධාරණය කර ඇත්තේ, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාමය ළඟා කර ගැනීමට නොහැකි වුවහොත් බලහත්කාරයෙන් හෝ මුළු ඩොනෙට්ස්ක් කලාපයම අත්පත් කර ගන්නා බවයි.














