ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනය (EIA) මගින් 2026 වසර සඳහා නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුව, භූගත ස්වභාවික සම්පත්වල වටිනාකම අතින් ලොව පොහොසත්ම රට ලෙස රුසියාව තේරී පත්වී තිබේ. රුසියාව සතු ස්වභාවික සම්පත්වල වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 75ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ස්වභාවික වායු, තෙල්, ගල් අඟුරු, දැව සහ වටිනා ලෝහ මත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම් සකස් කර ඇත. ඒ අනුව දෙවන ස්ථානයේ පසුවන එක්සත් ජනපදය සතු සම්පත්වල වටිනාකම ඩොලර් ට්‍රිලියන 45ක් වන අතර සවුදි අරාබිය ඩොලර් ට්‍රිලියන 34.4ක් ද, කැනඩාව ඩොලර් ට්‍රිලියන 33.2ක් සහ ඉරානය ඩොලර් ට්‍රිලියන 27.3ක් වශයෙන් මුල් ස්ථාන පහේ පසුවේ.
ලෝකයේ කොබෝල්ට් අවශ්‍යතාවයෙන් 70%ක් සපුරාලන කොංගෝ ජනරජය ඩොලර් ට්‍රිලියන 24ක වටිනාකමකින් යුත් සම්පත් සමඟ ලැයිස්තුවේ 6 වන ස්ථානයට පැමිණ ඇත්තේ හරිත බලශක්ති සංක්‍රාන්තියට අවශ්‍ය ඛනිජ සම්පත්වල පවතින ඉහළ ඉල්ලුම හේතුවෙනි. චීනය ඩොලර් ට්‍රිලියන 23ක වටිනාකමකින් යුත් දුර්ලභ පාංශු ලෝහ සහ ගල් අඟුරු සම්පත්වලට හිමිකම් කියන අතර ඉන්දියාව සහ පිලිපීනය සතු සම්පත් ද සැලකිය යුතු මට්ටමක පවතී. කෙසේ වෙතත් වෙනිසියුලාව සහ කොංගෝව වැනි රටවල් භූගත සම්පත්වලින් අතිශය පොහොසත් වුවද දේශපාලන අස්ථාවරත්වය නිසා එම ධනය ජනතාවගේ පොදු යහපතට යොදා ගැනීමට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. මෙම සම්පත් වටිනාකම මත අනාගතයේදී ලෝක දේශපාලන සහ ආර්ථික බලය තීරණය වනු ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.














