රුසියානු රජයේ පූර්ණ අනුග්‍රහය සහිත “MAX” නැමැති දේශීය පණිවිඩ හුවමාරු යෙදුම භාවිත කරන ලෙස ක්‍රෙම්ලිනය (Kremlin) එරට වැසියන්ට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. රුසියාවේ “මහා මර්දනය” (Great Crackdown) ලෙස රාජ්‍ය තාන්ත්‍රිකයින් හඳුන්වන මෙම වැඩපිළිවෙල යටතේ, ටෙලිග්‍රෑම් (Telegram) සහ වට්ස්ඇප් (WhatsApp) වැනි විදේශීය සන්නිවේදන යෙදුම් අවහිර කරමින් මෙම දේශීය යෙදුම ප්‍රවර්ධනය කිරීමට රුසියාව පියවර ගෙන තිබේ.
රුසියානු බලධාරීන් පවසන්නේ විදේශීය සන්නිවේදන යෙදුම් හරහා සතුරු බුද්ධි අංශ රුසියාවේ තොරතුරු සොරා ගන්නා බැවින්, “ස්වෛරී අන්තර්ජාලයක්” (Sovereign Internet) සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට MAX වැනි දේශීය පද්ධතියක් අවශ්‍ය බවයි. වසරකට පෙර හඳුන්වා දුන් මෙම යෙදුම මේ වන විට මිලියන 107 ක පරිශීලකයින් සංඛ්‍යාවක් පසුකර ඇති බව එහි හිමිකාරිත්වය දරන VK සමාගම පවසයි.
කෙසේ වෙතත්, රුසියානු වැසියන් සහ විපක්ෂ ක්‍රියාකාරීන් මෙම නව යෙදුම පිළිබඳව දැඩි සැකයක් පළ කරති. රුසියානු ආරක්ෂක අංශවලට MAX හරහා හුවමාරු වන සියලුම දත්ත පරීක්ෂා කිරීමට හැකියාව පවතින බවත්, කෘතිම බුද්ධිය (AI) භාවිත කරමින් රජයට එරෙහි මතවාද හඳුනා ගැනීමට පවා මෙය යොදා ගන්නා බවටත් ඔවුන් චෝදනා කරති. බොහෝ පරිශීලකයින් පවසන්නේ වෙනත් විකල්පයක් නොමැති නිසා මෙම යෙදුම භාවිත කළද, තමන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව දැඩි බියක් පවතින බවයි.














