රුසියානු සමූහාණ්ඩුවේ පාර්ලිමේන්තුවේ සභානායක සහ එරට පාලක පක්ෂය වන “United Russia” පක්ෂයේ කණ්ඩායම් නායක ව්ලැඩිමීර් වාසිලියෙව් (Vladimir Vasilyev) මහතා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක මෙන්ම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර විශේෂ නිල හමුවක් රුසියාවේ ස්ටේට් ඩූමා (State Duma) මන්දිරයේදී පවත්වා තිබේ.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අතීතයේ සිටම පවතින දීර්ඝකාලීන මෙන්ම ඓතිහාසික මිත්‍රත්වය පදනම් කර ගනිමින්, දෙරටේම පොදු අභිලාෂයන්ට ගැළපෙන පරිදි අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව මෙහිදී නායකයන් දෙපළගේ විශේෂ අවධානය යොමු විය. මීට අමතරව දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළිත් සක්‍රීය කරමින් අලුත් කිරීම සඳහා ද දෙපාර්ශවයම සිය එකඟතාව පළ කර ඇත.
අතීතයේ සිටම රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ඉතා ශක්තිමත් වෙළෙඳ සබඳතාවක් පවතින බව සිහිපත් කළ රුසියානු සභානායක ව්ලැඩිමීර් වාසිලියෙව් මහතා, වර්තමානය වන විටත් ශ්‍රී ලාංකික සිසුන් 800කට අධික පිරිසක් රුසියාවේ විවිධ විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය ලබන බව අවධාරණය කළේය. එසේම ලෝක දේශපාලනයේ පවතින විවිධ අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, රුසියානු රජය සතු ප්‍රබල සම්පත් සහ හැකියාවන් දෙරටේම පොදු අභිවෘද්ධිය උදෙසා වඩාත් සාධනීය මට්ටමකින් භාවිත කිරීම පිළිබඳව ද මෙහිදී දෙරටේ නායකයන් අතර සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.














