රුසියානු – යුක්රේන යුද්ධය ආරම්භ වූ දා සිට ගතවූ වසර හතරකට අධික කාලය තුළ එල්ල කරන ලද විශාලතම ගුවන් ප්‍රහාරය පසුගිය පැය 24 තුළ වාර්තා වී තිබේ. රුසියාව විසින් යුක්රේනය පුරා විවිධ නගර ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන යානා 948ක් සහ මිසයිල 34ක් දියත් කර ඇති බව යුක්රේන ගුවන් හමුදාව තහවුරු කරයි. මෙම ප්‍රහාරයන්ගෙන් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව දුසිම් ගණනක් තුවාල ලබා ඇති අතර, යුක්රේනයේ බටහිර සහ මධ්‍යම ප්‍රදේශවලට දැඩි හානි සිදුව ඇත.
යුනෙස්කෝ ලෝක උරුමයක් වන එල්විව් (Lviv) නගරයේ පිහිටි 16 වැනි සියවසට අයත් බර්නාඩින් ආරාමයට සහ අසල පිහිටි නේවාසික ගොඩනැගිල්ලකට මෙම ප්‍රහාරවලින් හානි සිදුව තිබේ. මීට අමතරව ඉවානෝ-ෆ්‍රැන්කිව්ස්ක් (Ivano-Frankivsk) ප්‍රදේශයේ ප්‍රසව රෝහලකට ද ප්‍රහාර එල්ල වී ඇති අතර, එහිදී හය හැවිරිදි දරුවෙකු ඇතුළු පිරිසක් තුවාල ලබා ඇත. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ රුසියාවේ මෙම ම්ලේච්ඡ ක්‍රියාවන් මගින් ඔවුන්ට යුද්ධය අවසන් කිරීමේ කිසිදු සැබෑ අභිලාෂයක් නොමැති බව මනාව පැහැදිලි වන බවයි.
පසුගිය පෙබරවාරි අග භාගයේදී ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ යුදමය තත්ත්වය හේතුවෙන් යුක්රේන සාම සාකච්ඡා ද මේ වන විට අඩපණ වී තිබේ. ලෝකය වෙනත් ගැටුම් දෙස අවධානය යොමු කර ඇති මොහොතක යුක්රේන වැසියන්ගේ දුක හුදු සංඛ්‍යාලේඛනයක් බවට පත්වීමට ඉඩ නොදෙන ලෙස යුක්රේන ජනාධිපති ආර්යාව වන ඔලේනා සෙලෙන්ස්කා ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. රුසියානු හමුදා උතුරු දෙසින් විශාල ඩ්‍රෝන රංචු ලෙස යුක්රේන ගුවන් සීමාවට ඇතුළු වෙමින් මෙම දැවැන්ත ප්‍රහාරය දියත් කර ඇති බව යුක්රේන ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කරයි.














