රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඊයේ (09) විශේෂ දුරකථන සංවාදයක් පවත්වා ඇති අතර එහිදී ඉරාන ගැටුම කඩිනමින් විසඳා ගැනීම සඳහා රුසියාව සිය යෝජනා ඉදිරිපත් කර තිබේ. ක්‍රෙම්ලීන විදේශ ප්‍රතිපත්ති උපදේශක යූරි උෂකොව් මහතා ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාව ඉතා වැදගත් මෙන්ම ප්‍රායෝගික වටිනාකමකින් යුක්ත වූවක් බවයි.
ඉරාන ගැටුම දේශපාලනික සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවසන් කිරීම සඳහා රුසියානු ජනාධිපතිවරයා මෙහිදී අදහස් කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර ගල්ෆ් කලාපීය නායකයින් සහ ඉරාන ජනාධිපතිවරයා සමඟ තමන් පැවැත්වූ සාකච්ඡා පිළිබඳව ද ට්‍රම්ප් මහතා දැනුවත් කර ඇත. මීට අමතරව ඇමරිකානු සහ ඉශ්‍රායල ඒකාබද්ධ යුද මෙහෙයුම්වල වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් සිය තක්සේරුව ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වේ.
යුක්රේන ගැටුම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වී ඇති අතර රුසියානු හමුදා ලබාගන්නා ජයග්‍රහණ හමුවේ යුක්රේනය සාකච්ඡා මාර්ගයට අවතීර්ණ විය යුතු බව රුසියානු පාර්ශවය අවධාරණය කර තිබේ. ඇමරිකාව ද යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කර සටන් විරාමයකට එළඹීමට කැමැත්ත පළ කර ඇති බව උෂකොව් මහතා සඳහන් කළේය. තවද ගෝලීය තෙල් මිල පාලනය කිරීමේ අරමුණින් වෙනිසියුලාවේ පවතින තත්ත්වය පිළිබඳව ද නායකයන් දෙපළ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.














