රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති දිමිත්‍රි මෙඩ්විඩෙව් (Dmitry Medvedev) අද (03) ප්‍රකාශ කළේ යුක්රේනය යුරෝපා සංගමයේ (EU) සාමාජිකත්වය ලබා ගැනීමට දරන උත්සාහය කෙරෙහි රුසියාව මෙතෙක් දැක්වූ “ඉවසීමේ ප්‍රතිපත්තිය” අවසන් කළ යුතු බවයි. යුරෝපා සංගමය යනු දැන් හුදෙක් ආර්ථික සංගමයක් පමණක් නොවන බවත්, එය ඉතා වේගයෙන් රුසියාවට එදිරිවාදිකම් පාන පූර්ණ හමුදා සන්ධානයක් බවට පරිවර්තනය වෙමින් පවතින බවත් ඔහු අවධාරණය කළේය. ඇතැම් අවස්ථාවලදී යුරෝපා සංගමය නේටෝ (NATO) සංවිධානයටත් වඩා භයානක විය හැකි බව මෙඩ්විඩෙව් පෙන්වා දෙයි.
නේටෝ සංවිධානය තුළ පවතින අභ්‍යන්තර බෙදීම් හේතුවෙන් යුරෝපා සංගමය හමුදාමය වශයෙන් වඩාත් ශක්තිමත් වීමට උත්සාහ දරන බව පෙනී යන අතර, ඇමරිකාව නේටෝ සංවිධානයෙන් ඉවත් නොවනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, ඇමරිකාව විසින් නේටෝ සාමාජික රටවල ස්ථාපනය කර ඇති සිය හමුදා භට පිරිස් සංඛ්‍යාව අඩු කිරීම වැනි සංකේතාත්මක පියවර ගැනීමට ඉඩ ඇති බව ඔහුගේ අදහසයි.
රුසියාවේ අසල්වැසි රටවල් මෙලෙස හමුදාමය මුහුණුවරක් ගනිමින් පවතින යුරෝපා සංගමයට එක්වීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත්, එබැවින් ඒ කෙරෙහි රුසියාව මින් ඉදිරියට දැඩි ස්ථාවරයක පසුවිය යුතු බවත් මෙඩ්විඩෙව් වැඩිදුරටත් කියා සිටියේය. මැදපෙරදිග කලාපයේ ඇමරිකා – ඉරාන යුද්ධය උත්සන්න වී ඇති පසුබිමක, රුසියාව විසින් යුරෝපීය කලාපය සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම ජාත්‍යන්තර දේශපාලන කරළියේ දැඩි අවධානයට ලක්ව තිබේ.














