රුසියානු පළමු නියෝජ්‍ය අගමැති ඩෙනිස් මන්ටුරොව් හෙට (02) දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිත බව අද (01) වාර්තා විය. ඇමෙරිකානු සම්බාධක ලිහිල් කිරීමත් සමඟ රුසියාව නැවතත් ඉන්දියාවට බොරතෙල් සපයන ප්‍රධානතම රට බවට පත්ව ඇති පසුබිමක මෙම සංචාරය අතිශය තීරණාත්මක වේ.
ඩෙනිස් මන්ටුරොව් සිය සංචාරය අතරතුර ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් (Ajit Doval), විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවීමට නියමිතය. මෙහිදී බටහිර ආසියානු කලාපයේ (West Asia) පවතින යුදමය වාතාවරණය, දෙරට අතර ආරක්ෂක සහ යුද සහයෝගීතාව මෙන්ම බලශක්ති සහ වෙළෙඳ සබඳතා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි.
පසුගිය දෙසැම්බර් මාසයේ නව දිල්ලියේ පැවැති ඉන්දීය-රුසියානු සමුළුවේදී ගනු ලැබූ ආර්ථික තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම ද මෙම සංචාරයේ තවත් අරමුණකි. රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ (Andrey Rudenko) ද පසුගිය මාර්තු 30 වනදා ඉන්දියාවට පැමිණ මෙම සංචාරය සඳහා අවශ්‍ය මූලික පසුබිම සකස් කළේය.














