ඇමෙරිකානු තෙල් සම්බාධක හමුවේ දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින කියුබාවට සහනයක් වෙමින්, රුසියානු තෙල් බැරල් 730,000ක් රැගත් “ඇනටෝලි කොලොඩ්කින්” (Anatoly Kolodkin) නෞකාව අද (31) එරට මාටන්සාස් (Matanzas) වරායට ළඟා වීමට නියමිතය. රුසියානු ධජය සහිත මෙම නෞකාව කියුබාවට ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් තමන්ගේ “කිසිදු ගැටලුවක් නොමැති” බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.
මෙම ඉන්ධන තොගය මඟින් කියුබාවේ දින 9ක හෝ 10ක ඩීසල් අවශ්‍යතාවය සපුරා ගත හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති. ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් (Dmitry Peskov) සඳහන් කළේ මෙම තෙල් ප්‍රවාහනය පිළිබඳව රුසියාව මීට පෙර ඇමෙරිකාව සමඟ සාකච්ඡා කර ඇති බවත්, තම මිත්‍ර රටක් වන කියුබාවට සහාය වීම රුසියාවේ යුතුකමක් බවත්ය. කියුබාවේ බලශක්ති පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධනවලින් 40%ක් පමණක් එරට නිෂ්පාදනය කරන බැවින් මෙම රුසියානු ආධාරය ඔවුන්ට අතිශය තීරණාත්මක වී තිබේ.
















