ඇමරිකානු රජය විසින් කියුබාවට එරෙහිව පනවා තිබූ දැඩි ඉන්ධන අවහිරතා (Oil Blockade) ලිහිල් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟතාව පළ කිරීමෙන් පසු, මාස කිහිපයකට පසුව පළමු රුසියානු තෙල් නැව කියුබානු මුහුදු සීමාවට ඇතුළු වී තිබේ. ‘ඇනටෝලි කොලොඩ්කින්’ (Anatoly Kolodkin) නම් මෙම රුසියානු නෞකාව බොරතෙල් ටොන් 100,000ක මානුෂීය ආධාර තොගයක් රැගෙන විත් ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය ජනවාරි මාසයේ සිට ඇමරිකාව පැනවූ සම්බාධක හේතුවෙන් කියුබාව දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටි අතර, රට පුරා විදුලි බිඳවැටීම් සහ රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා අඩාල වීම වැනි බරපතල තත්ත්වයන් උද්ගතව තිබුණි. කෙසේ වෙතත්, ඉරිදා දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ කියුබාවේ ජනතාවට ජීවත් වීමට අවශ්‍ය ඉන්ධන ලබා දීමට රුසියාව වැනි රටවල් ඉදිරිපත් වීම පිළිබඳව තමාගේ ප්‍රශ්නයක් නොමැති බවයි. මෙය ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ යම් ලිහිල් වීමක් ලෙස විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
රුසියාව මෙම තෙල් නැව එවීමට කටයුතු කර ඇත්තේ ඇමරිකානු බලධාරීන් සමඟ කල්තියා සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සඳහන් කළේය. කියුබානු රජය මෙය සිය ජයග්‍රහණයක් ලෙස හඳුන්වන අතර, මෙම ඉන්ධන තොගය හරහා එරට පවතින බලශක්ති අර්බුදයට තාවකාලික විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේ වුවද, කියුබාවේ දේශපාලන නායකත්වය පිළිබඳව ට්‍රම්ප් තවදුරටත් දැඩි විවේචනාත්මක ස්ථාවරයක පසුවන බැවින් මෙම සහනය කෙතරම් කාලයක් පවතිනු ඇත්ද යන්න පිළිබඳව අවිනිශ්චිතතාවයක් පවතී.














