උණවටුන, ගණහේන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකු සතු ඇමරිකානු ඩොලර් 2,000ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 620,000ක් පමණ) සොරකම් කිරීම සම්බන්ධයෙන් එම නිකේතන හිමිකාරියගේ 18 හැවිරිදි දියණිය අත්අඩංගුවට ගැනීමට හබරාදුව පොලිසිය සමත්ව තිබේ. සංචාරකයා විසින් තම කාමරය තුළ රහසිගතව සවි කරන ලද කුඩා ආරක්ෂිත කැමරාවක (Hidden CCTV) සොරකම සිදුවන ආකාරය පැහැදිලිව සටහන් වී තිබීම නිසා සැකකාරිය පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වී ඇත.
අදාළ රුසියානු සංචාරකයා මෙම නිකේතනයේ නවාතැන් ගන්නා අතරතුර, හිමිකරුවන්ට නොදන්වා ආරක්ෂක පියවරක් ලෙස කාමරය තුළ කැමරාවක් සවි කර තිබේ. පසුගිය ඉරිදා (22) ඔහු කාමරයෙන් බැහැරව ගොස් නැවත පැමිණි විට තම මුදල් අතුරුදන් වී ඇති බව දැනගෙන ඇති අතර, පසුව රහසිගත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී නිකේතන හිමිකාරියගේ දියණිය කාමරයට ඇතුළු වී මුදල් ලබාගන්නා අයුරු දැකගත හැකි වී තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ විදේශිකයා උණවටුන සංචාරක පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ලැබුණු පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ උණවටුන සංචාරක පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ හෝටලයට ගොස් පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර විමර්ශන සඳහා ඇය හබරාදුව පොලිසිය වෙත භාර දී ඇති අතර, හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරිය මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ ක්‍රියාත්මක වේ. සැකකාරිය අද (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














