වත්මන් මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බුදවලට සාර්ථකව මුහුණ දීම සඳහා සියලු දෙනාම “සිහිනුවණින් යුතුව පරිභෝජනය කිරීමේ” (Mindful Consumption) ක්‍රමවේදයකට අනුව බලශක්තිය ඵලදායී ලෙස භාවිතා කිරීමට එක්විය යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා අවධාරණය කරයි.
ඊයේ (30) Zoom තාක්ෂණය ඔස්සේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම අර්බුදකාරී තත්ත්වයකට සාර්ථකව මුහුණ දීම සඳහා ජනතාව කල්තියා සූදානම් වීමේ වැදගත්කම ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. බලශක්ති භාවිතය අවම කරගනිමින් වුවද, මෙම වසරේ සිදු කිරීමට නියමිත සියලුම සංවර්ධන ව්‍යාපෘති කිසිදු ප්‍රමාදයකින් තොරව නියමිත පරිදි ඉටු කිරීමට රජය උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
එසේම 2026 වර්ෂය සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 2,500ක කාර්ය සාධන පදනම් ප්‍රාග්ධන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන ආදායම් උත්පාදන ව්‍යාපෘති, ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති සහ කුඩා පාලම් ව්‍යාපෘති ඇතුළු සියලුම සංවර්ධන කටයුතු නියමිත කාලසීමාවන් තුළදීම සම්පූර්ණ කිරීමට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම් අඛණ්ඩව සිදු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.














