රුපියල් මිලියන 243.8කට (ලක්ෂ 2,400කට) අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද (31) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
මීට පෙර මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, සැකකරු අද (31) දිනය දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.
සැකකරු විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ කාලසීමාව තුළ මෙලෙස අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති බවට විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. එසේම ඔහුගේ බිරිඳගේ නමින් පවතින බැංකු ගිණුමක ඇති සැකකටයුතු මුදල් ගනුදෙනු සහ කොළඹ තුරඟ තරග පිටිය (Racecourse) පරිශ්‍රයේ ආරම්භ කර ඇති ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසම මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














