දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ නිරත වන ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදෙමින් රජය පීඩාකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. අද (07) විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඔහු අවධාරණය කළේ, රජය ක්ෂේත්‍රයේ සැබෑ ගැටලු විසඳනවා වෙනුවට මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටින බවයි. පවුල් ලක්ෂ හතකට අධික ප්‍රමාණයකට සහන සැලසීමට කැපවන මෙම නිලධාරීන් සඳහා පශ්චාත් ආපදා සහන ලබාදීමේ නිසි චක්‍රලේඛ පවා මෙතෙක් සකස් කර නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
දිට්වා සුළි කුණාටුවෙන් පසුව සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී ග්‍රාම නිලධාරීන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළද, රජයේ නොසලකා හැරීම නිසා ඔවුන්ගේ මානසික ශක්තිය සහ චිත්ත ධෛර්යය බිඳ වැටී ඇති බව විපක්ෂ නායකවරයා පවසයි. ආණ්ඩුවේ මෙම අදූරදර්ශී පිළිවෙත නිසා අවසානයේ පීඩාවට පත්වන්නේ කුණාටුවෙන් බැටකෑ අසරණ ජනතාව බවත්, වහාම නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සහ මඟපෙන්වීම් ලබාදිය යුතු බවත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.














