ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල වහාම අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. අද (12) හම්බන්තොට ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය. බඩු මිල ඉහළ යාම හේතුවෙන් මෙරට ජනතාව අතිශය අසරණ තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, වත්මන් පාලනය යටතේ විදුලි බිල, ඉන්ධන සහ ආහාර මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බව අවධාරණය කළේය.
රටේ ආහාර සුරක්ෂිතතාවයට මර පහරක් එල්ල කරමින් පොහොර හිඟයක් ද නිර්මාණය වී ඇති බවත්, මින් පෙර ලබා දෙන බව පැවසූ විසඳුම් තවමත් ක්‍රියාත්මක නොවීම පිළිබඳව රජයෙන් ප්‍රශ්න කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු ඇති කරමින් බලයට පැමිණි රජය, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පාලනය කිරීමට අපොහොසත් වී ඇති බවට සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී චෝදනා කළේය.














