නොරොච්චෝලේ බලාගාරයට ගෙන්වන ලද ගල් අඟුරු සහ එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් තමා ඇසීමට සූදානම් වූ ප්‍රශ්න මාලාව වාරණය කිරීමට හෝ සංශෝධනය කිරීමට කතානායකවරයා ගත් උත්සාහය හරහා තම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (මාර්තු 03) සභාවේදී ප්‍රකාශ කළේය.
ස්ථාවර නියෝග 27 (2) යටතේ ජාතික වැදගත්කමකින් යුතු ප්‍රශ්න ඇසීමට විපක්ෂ නායකවරයාට ඇති අයිතිය රජය විසින් අහුරා ඇති බව ඔහු චෝදනා කළේය. දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද ගල් අඟුරු නැව් 25ක ප්‍රමිතිය බාල වීම, එමගින් සිදුවූ මූල්‍ය පාඩුව සහ නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක ධාරිතාවක් උත්පාදනය කිරීමට නොහැකි වීම පිළිබඳව තමා ප්‍රශ්න කළ බව ඔහු පැවසීය.
ආනයනික ගල් අඟුරුවල GCE අගය (තාප අගය) සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳව තමා යොමු කළ ප්‍රශ්න වාරණය කිරීම, ජනතාවට සත්‍ය තොරතුරු දැනගැනීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බව ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ බලශක්ති අර්බුදයක් මතුවෙමින් පවතින මොහොතක මෙවැනි තොරතුරු සැඟවීම බරපතල තත්ත්වයක් බව ඔහු අවධාරණය කළේය.
පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වැනි වගන්තිය ප්‍රකාරව තමාට හිමි භාෂණයේ සහ විවාද කිරීමේ නිදහස මෙහිදී උල්ලංඝනය වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙම වරප්‍රසාද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කතානායකවරයා ප්‍රකාශ කළේ අදාළ ප්‍රශ්නය වාරණය කළේ නැති බවත්, එය ස්ථාවර නියෝගවලට අනුකූලව සංශෝධනය කරන ලෙස පමණක් උපදෙස් දුන් බවත්ය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඇති වූ උණුසුම් වාතාවරණය නිසා සභාවේ කටයුතුවලට ද මඳ වේලාවකට බාධා එල්ල විය.














