සමගි ජන බලවේගය දිගින් දිගටම සිදුකළ විරෝධතා හමුවේ රජය දින 38 ක නිද්‍රාශීලී පිළිවෙතින් පසුව අවදි වී සහන මල්ලක් ප්‍රකාශයට පත් කිරීමට පෙළඹී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ආර්ථික පීඩනයෙන් බැටකන ජනතාවට සහන සලසන ලෙස විපක්ෂය සති ගණනාවක් තිස්සේ ඉල්ලා සිටි බවයි. රජය ප්‍රකාශයට පත් කළ රුපියල් බිලියන 100 ක සහන පැකේජය ප්‍රමාණවත් නොවන බවත්, ඉන් ගෑස් පාරිභෝගිකයන් ඇතුළු ලක්ෂ 25 කට අධික පිරිසක් මගහැරී ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. මීට පෙර දිට්ටුව සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට ලබා දුන් පොරොන්දු ද මෙතෙක් ඉටු කර නොමැති බැවින් මෙම නව සහන වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
බාල තත්ත්වයේ ගල්අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් විපක්ෂය මීට පෙර අනතුරු ඇඟවූ බවත් දැන් ජනාධිපතිවරයා ද එය පිළිගෙන ඇති බවත් සඳහන් කළ ප්‍රේමදාස මහතා, මෙරට ඉතිහාසයේ රජයක් යටතේ විදුලි උත්පාදනය මෙතරම් අවම මට්ටමකට වැටුණු ප්‍රථම අවස්ථාව මෙය බවට ද චෝදනා කළේය. එමෙන්ම ආර්ථිකය හැකිලීම හරහා ණය පියවීමට නොහැකි බවත්, නිෂ්පාදන සහ සේවා ක්ෂේත්‍ර ප්‍රසාරණය කළ යුතු බවත් පෙන්වා දුන් ඔහු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම ජනතාවට සහන සැලසෙන පරිදි වහාම සංශෝධනය කළ යුතු බව යළිත් අවධාරණය කළේය. රජය ප්‍රතික්ෂේප කළද දැනට රට තුළ යූරියා පමණක් නොව MOP සහ TSP පොහොරවල ද දැඩි හිඟයක් පවතින බවත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව බදු යෝජනා මගින් පාරිභෝගිකයන් තවදුරටත් අසීරුවට පත් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














