මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ආසියානු කලාපයට අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමට බාධා එල්ල විය හැකි බවත්, එමඟින් ශ්‍රී ලංකාව තුළ බලාපොරොත්තු නොවන උද්ධමනයක් ඇති විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රශ්න කර සිටියේ මෙම බරපතල තත්ත්වයට මුහුණ දීම සඳහා වර්තමාන රජය සතුව නිසි සැලසුමක් පවතින්නේද යන්නයි.
යේමනයේ වයඹදිග ප්‍රදේශ පාලනය කරන හවුති (Houthi) සටන්කාමීන් බැබ් අල්-මැන්ඩබ් (Bab al-Mandab) සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සිදුකරන ප්‍රහාර හේතුවෙන් මෙරට ආර්ථිකයට බහුවිධ බලපෑම් එල්ල විය හැකි බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. විශේෂයෙන්ම ඉන්ධන මිල ඉහළ යාම, මුහුදු මාර්ගයෙන් භාණ්ඩ ප්‍රවාහනය ප්‍රමාද වීම, ප්‍රවාහන ගාස්තු සහ විදුලි ගාස්තු ඉහළ යාම මෙන්ම අපනයන ආදායම පහළ වැටීම වැනි ගැටලුවලට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇත. මේ හේතුවෙන් රුපියල අවප්‍රමාණය වීම සහ අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, පොහොර වැනි දෑ හිඟ වීමේ අවදානමක් ද පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
යුරෝපය සහ ආසියාව යා කරන මෙම ප්‍රධාන මුහුදු මාර්ගය හරහා වාර්ෂිකව විශාල තෙල් සහ ස්වභාවික වායු ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන බැවින්, එහි සිදුවන බාධා හේතුවෙන් නැව් ගාස්තු 30%කින් පමණ ඉහළ යා හැකි බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. සාමකාමී කලාපයක්ව පවතින ඉන්දීය සාගරය මෙලෙස යුද ගැටුම් පවතින කලාපයක් බවට පත්වීම සහ කොළඹ වරායේ පර්යන්ත පාලනය සඳහා විවිධ රටවල් බලපෑම් කිරීම ද දැඩි අවධානයට ලක්විය යුතු කරුණක් බව ඔහු අවධාරණය කළේය. මේ නිසා රජය වහාම හදිසි සැලසුම් සහ විකල්ප උපාය මාර්ග ක්‍රියාත්මක කළ යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.














