මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ බොහෝ ගුවන් සේවා සිය මෙහෙයුම් අත්හිටුවා තිබුණද, අද (02) අලුයම ඕමානයේ ‘සලාම් එයාර්’ (SalamAir) ගුවන් සේවයට අයත් යානයක් කටුනායක ගුවන්තොටුපළට පැමිණ නැවත ඕමානය බලා පිටත්ව ගොස් තිබේ. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ ඕමාන සහ සෞදි අරාබි ගුවන් කලාප මේ වන විටත් විවෘතව පවතින බවයි.
යුද ගැටුම් ආරම්භ වූ පෙබරවාරි 28 වැනිදා සිට මේ දක්වා කටුනායක ගුවන්තොටුපළේ සිට මැදපෙරදිග බලා යාමට තිබූ සහ එතැන් සිට පැමිණීමට තිබූ ගුවන් ගමන් 115ක් අවලංගු වී ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවය (SriLankan Airlines) ඇතුළු ප්‍රධාන ගුවන් සේවා රැසක් ඩුබායි, දෝහා, කුවේට්, දම්මාම් සහ රියාද් වැනි ගමනාන්ත වෙත සිදුකරන ගුවන් වාර අද දිනයේද තාවකාලිකව නතර කර තිබේ.
පවතින ගුවන් ගමන් අවලංගු වීම් හේතුවෙන් මෙරටින් පිටවීමට නොහැකිව කොටු වී සිටින විදේශීය සංචාරකයන් සඳහා දින 7ක නොමිලේ වීසා සහනයක් ලබා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ගුවන් කලාප වසා තැබීම හේතුවෙන් මගීන් දහස් ගණනක් කටුනායක සහ මැදපෙරදිග ප්‍රධාන ගුවන්තොටුපළවල මේ වන විට අසරණ වී සිටිති.
සිවිල් ගුවන් සේවා අධිකාරිය පෙන්වා දෙන්නේ ඉරානය, ඉරාකය සහ කටාර් යන රටවල ගුවන් කලාප තවදුරටත් වසා තබා ඇති බවයි. මගීන්ට ගුවන්තොටුපළට පැමිණීමට පෙර තම ගුවන් ගමනේ තත්ත්වය අදාළ ගුවන් සමාගමෙන් විමසා තහවුරු කරගන්නා ලෙස බලධාරීන් උපදෙස් දෙයි.














