බංග්ලාදේශය සමඟ පැවැති දෙවන එක්දින තරගය අතරතුර ක්‍රිකට් උපකරණවලට අනිසි ලෙස සැලකීම හේතුවෙන් පාකිස්ථාන ක්‍රීඩක සල්මන් අලි අගාට (Salman Ali Agha) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිල වශයෙන් අවවාද කර තිබේ. ලකුණු ලබා ගැනීමේදී දැවී යාමෙන් (Run out) අනතුරුව සිය හිස්වැසුම සහ අත් ආවරණ පොළොවේ ගැසීම හේතුවෙන් ඔහුට මෙම චෝදනාව එල්ල විය.
ඒ අනුව ඔහුගේ විනය වාර්තාවට එක් දඩුවම් ලකුණක් (Demerit point) එක් කර ඇති අතර, අදාළ වරද ඔහු පිළිගෙන ඇති බැවින් විධිමත් පරීක්ෂණයක අවශ්‍යතාවක් මතු නොවූ බව ICCය පවසයි. මෙම තරගයෙන් පාකිස්ථානය ලකුණු 128ක ජයක් ලබා ගනිමින් තරගාවලිය 1-1ක් ලෙස සම කර ඇති අතර, තීරණාත්මක අවසන් තරගය හෙට (ඉරිදා) පැවැත්වීමට නියමිතය.














