ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සහ ගෞරවාන්විත ජීවිතයක් සහතික කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද නව “සමාජ ආරක්ෂණ කළමනාකරණ තොරතුරු පද්ධතිය” පසුගියදා ජනගත කෙරුණා. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) මෙම ඩිජිටල් පද්ධතිය නිල වශයෙන් ආරම්භ කරන ලදී.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් හඳුන්වා දුන් මෙම පද්ධතිය, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) ප්‍රමිතීන්ට අනුකූලව සකස් කර තිබේ. පුද්ගලයෙකුගේ ජීවන චක්‍රය තුළ මුහුණ දීමට සිදු වන විවිධ අහිතකර තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය සාමූහික රැකවරණය මෙමගින් තාක්ෂණිකව තහවුරු කෙරේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, වේගයෙන් වෙනස් වන ලෝකයක තාක්ෂණය සහ මානුෂීය අවශ්‍යතා ඒකාබද්ධ කරමින් සියලු පුරවැසියන්ට සුවදායී විශ්‍රාම දිවියක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවයි. මෙම නව ඩිජිටල් පද්ධතිය හරහා සමාජ ආරක්ෂණ ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමව ජනතාව වෙත සමීප කිරීමට පියවර ගෙන ඇත.














