සැම්සුන්ග් ඩිස්ප්ලේ (Samsung Display) සමාගම නිෂ්පාදනය කරන මොනිටර සඳහා වන QD-OLED පැනලවල සමුච්චිත නැව්ගත කිරීම් සංඛ්‍යාව මිලියන 5 සීමාව පසු කර ඇති බව එම සමාගම නිවේදනය කළේය. 2021 වසරේ අගභාගයේදී මෙම පැනල වාණිජමය වශයෙන් නිපදවීම ආරම්භ කර වසර හතරක් වැනි කෙටි කාලයක් තුළ මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට ඔවුන් සමත්ව තිබේ. දත්තවලට අනුව 2021 සිට 2025 දක්වා කාලය තුළ මෙම අංශයේ වාර්ෂික වර්ධන වේගය සියයට 320ක් වැනි ඉහළ අගයක් ගෙන ඇත.
QD-OLED තාක්ෂණය යනු කොන්ටම් ඩොට් (Quantum Dots) නමින් හැඳින්වෙන අතිශය කුඩා අර්ධ සන්නායක අංශු පැනලය තුළම අන්තර්ගත කර නිපදවන නවීන තාක්ෂණයකි. සාම්ප්‍රදායික OLED පැනල මෙන් නොව, මෙහිදී වර්ණවල නිවැරදිභාවය, දීප්තිමත් බව සහ ඕනෑම කෝණයකින් පැහැදිලිව දර්ශන නැරඹීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතී. වර්තමානය වන විට Acer, ASUS, Dell, HP සහ Lenovo වැනි ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් 20ක් සඳහා මොනිටර මාදිලි 150කට අධික ප්‍රමාණයකට අවශ්‍ය පැනල සැපයීමට සැම්සුන්ග් සමාගම කටයුතු කරයි.
මෙම වසරේ සිට සියලුම නව නිෂ්පාදන සඳහා “Quantum Black” නමැති අඩු පරාවර්තනයක් සහ ඉහළ කල්පැවැත්මක් සහිත පටලයක් (Film) එක් කිරීමට ද සැම්සුන්ග් පියවර ගෙන තිබේ. එමඟින් ආලෝක පරාවර්තනය සියයට 20කින් අඩු කරන අතර පැනලයේ ශක්තිමත් බව 3H මට්ටම දක්වා ඉහළ නංවයි. වෙළඳපොළ දත්තවලට අනුව පසුගිය වසරේ ස්වයං-විමෝචක (self-emissive) මොනිටර වෙළඳපොළෙන් සියයට 75ක අතිවිශාල කොටසක් අත්පත් කර ගැනීමට සැම්සුන්ග් ඩිස්ප්ලේ සමාගම සමත්ව ඇති අතර, ඉදිරියටත් නවීන තාක්ෂණය ඔස්සේ මොනිටර වෙළඳපොළ මෙහෙයවීමට ඔවුන් බලාපොරොත්තු වේ.
















