යාපනය සහ කොළඹ අතර ගමන් කරන දෙස් විදෙස් සංචාරකයින්ට මෙන්ම රියදුරන්ට විවේක ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත ‘සංහිඳියාවේ නැවතුම’ සේවා මධ්‍යස්ථානය ඊයේ (මාර්තු 10) විවෘත විය. වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ පිහිටි මෙම මධ්‍යස්ථානය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය රුපියල් මිලියන 15ක වියදමින් ඉදිකළ මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රතිලාභීන් 14 දෙනෙකු සෘජුව සවිබල ගැන්වෙන අතර තවත් 30 දෙනෙකුට පමණ වක්‍ර ආදායම් මාර්ග උදා වේ. ප්‍රණීත ආහාර පාන, උතුරු පළාතට ආවේණික දේශීය නිෂ්පාදන සහ විසිතුරු භාණ්ඩ ඇතුළත් වෙළඳ කුටි මෙන්ම නවීන සනීපාරක්ෂක පහසුකම් ද මෙහි ඇතුළත් වේ.
දිගු දුර ගමන් ගන්නා පිරිස්වල වෙහෙස මහන්සිය නිවා ගැනීමට සහ උතුරු පළාතේ නිෂ්පාදන සඳහා නව වෙළඳපොළක් නිර්මාණය කිරීම මෙම සේවා මධ්‍යස්ථානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණයි. විශේෂයෙන්ම යාපනය – කොළඹ මාර්ගයේ ගමන් ගන්නා විශාල පිරිසකට මෙය ඉතා පහසු සහ ආරක්ෂිත නැවතුම්පොළක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














